Monday, October 17, 2011

'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...

විවිධ කාටුන් චරිත රූප පෙට්ටියෙ මවා - 
              අප ළමා ලෝකයම බෝ සුවඳවත් කළා
දිරි චරිත, විරු චරිත, සුදු චරිත ගොඩ නඟා - 

              ළමාසිත් රන්හුයෙන් ඒවාට බැඳ තබා
'රොබින් හූඩ්' මළ දවස අපේ සිත පෙළුනු දුක - 

              සිය දහන් ගුණයකින් අපේ සිත පුරවලා
ළමා ලොව මහා විරු අපේ ආදරණීය - 

              'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...

බුද්ධි මල්ලව
2011/10/18

Friday, May 6, 2011

ඒ අමා දම් මඟ...


අටලෝ දහම, චතු ආරිය සත්‍ය දෙසූ
සම්මා සමිඳු මේ මනු ලොව එලිය දුටු
දෙදහස් හයසියක් වසරක් පසු කරමු
දම් පිලිවෙත් පුරා සතුටින් පෙළ ගැසෙමු

එව, බලව'යි කිව හැකි දම් කඳ වැපිරූ
තම නිවීම තම අතමයි පසක් කෙරූ
එම දම් කඳේ පල නෙලුමට මඟ පෙන්වූ
මා හිමි සඳුනි සුදම් කඳෙහි අප ගිල්වූ

සිව් වන පිරිසකට අනුගාමිකයන්ව බෙදා
ඒ ඒ පරිදි ඔවදන්-විනකම් පනවා
සසරේ දුකින් මිදුමට මඟ විවර කලා
බෝසත් කුමරු සිදුහත් මව් කුසින් පියා

ගිහිගෙය දුකකි කරදරයකි බව දන්න
ඒ ගැන සිතා වැඩ කටයුතු කර ගන්න
කුසල් වලින් දිවිමග නිති පුරවන්න
ගිහි ගෙය තුලම සිට හැකි නොවැ, සිහිගන්න

දම් මඟ සුවය විඳුමට සිත යොමුවෙන්න
පෙරපින්, සසරෙ පුරුදුම මඟ පෙන්වන්න
හැඟුනොත් ගිහි ගෙදර බැරි බව ජය ගන්න
බාධක අතැර හොඳ වෙයි එය හැර යන්න

බුද්ධි මල්ලව
2011/05/06

Sunday, April 17, 2011

ලියන, කියවන ලබැඳි ඔබ හට...

සිතුනා ලියන්නට වදනක් ලබැදි සිතින්
දැක ප්‍රතිචාර, සටහන්, සුභ පැතුම් මිට..
වියුණු සටහනේ දියුණුව, වර්ධනය
සිකුරුයි දෙතුන් ගුණ වනවා නව වසරේ..

නව අදහසින්, නිමැවුම්, නව පැතුම් වලින්
දෝරේ ගලා යනු මේ-බ්ලොග් අවකාශේ..
පන්හිද පණ පොවා නිදහස් සිතිවිල්ලෙන්
රටට-දැයට හැමහට වේ වේ සුභ වේ..!

බුද්ධි මල්ලව
2011/04/18

Friday, April 15, 2011

මල්ලී නැති අවුරුද්ද...!

එරබදු, කොහා, කැවිලි-පෙවිලි හැම පැත්තේ..
ජන ගී, රතිඤ්ඤා සැනකෙලි සිරිගත්තේ..
නෑදෑ හිතවතුන් හැම ආසිරි මැද්දේ..
ඔබ නැති අඩුව පාළුව සිත පිරිගත්තේ..

දින දසුනේ දින එක එක ගනින්නයි..
දින ගෙවෙන්නෙ හෙමිහිටදෝ සිතෙන්නයි..
උපාධි නිමා කර නිවසට වඩින්නයි..
එතෙක් ඔබට ජයපිට ජය ලැබෙන්නයි..!


බුද්ධි මල්ලව
2011/04/15

අවුරුදු සුභ පැතුම්...!

මල් පිපිලා නව අවුරුදු කැන්දන්නයි
පල පිරිලා හැම සතුටින් ඉතිරෙන්නයි
සිතේ සතුට සැනසුම විසිරී යන්නයි
සැම සතහට නව වසරම සුභ වෙන්නයි...!



බුද්ධි මල්ලව
2011/04/15

Monday, January 31, 2011

හොඳම යාලුවගෙ මoගල දිනයේ...


 

සහස්‍රය අරඹුමෙදි, කලණ මිතුරන් ලෙස හමුව,
පුරා දශකයක්, නුඹ පසක් කලා නොවැ...
මගෙම සොයුරෙක් බව !

සබඳ මිතුරානනේ, ලබැඳි සොයුරානනේ..,
නුඹ යුග දිවි මඟේ, මඟුල් පියවර එසවු කල,
මට නැති සතුටක්, වෙන කා හටද ඇති..?

ඉතින් ඒ අයිතියට, ඉතින් ඒ උරුමයට,
පුoචි සිහිවුමක් ලෙස මෙය සලකන්න...
ඇයි නුඹට සහ ඇයට බැරි සකි..?

සොයුර සොයුරිය, මිතුර මිතුරිය,
උඹලගෙ යුගදිවියට, හඳ පතුලෙන් නැගෙන...
මේ ආසිරි පිලිගනිල්ලා..!


ජීවිතය විඳින්න...
බුද්ධි මල්ලව
2010 / 01 / 16